රජයේ ආහාර , පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මලවත්ත මහතා ඉදිරියේදී විනාශ කරනු ලැබුවා.
ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී තලාකොළ වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ආහාර සකස් කිරීම වෙනුවෙන් ලබාදීම සඳහා ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී පරිප්පු හා සහල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔස්සේ තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණයේදි තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේදී හා තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේදී පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ තවත් පරිප්පු සහ සහල් තොගයක් අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.
රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව පාසල් දරුවන්ට ආහාර සකස් කිරීමට ලබාදී තිබූ පරිප්පු සහ සහල් වල දිලීර , සත්ව කොටස් සහ පිළිකාකාරක කොටස් අඩංගු බැවින් ඒවා මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා එම භාණ්ඩ විනාශ කිරීමට අධිකරණ නියෝගය ලැබි තිබෙනවා.
තලාව ප්‍රාදේශි සභා ඔරුගලයාය කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේදී තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ඉදිරියේදී එම සහල් සහ පරිප්පු කාබනික පොහොර සකස් කිරීම සඳහා කසල සමග මිශ්‍රකර විනාශ කරනු ලැබුවා.