සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු පොලීසිය හමුවේ පවසා ඇති බව වාර්තා වෙනවා.
ගනේමුල්ල සංජීව නැමැත්තාව ඊයේ (20) උදෑසන අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනයට ලක් වුණා.
ඒ ඔහුට විරුද්ධව පැවැති නඩු තුනක් සඳහා ඉදිරිපත් කිරීමට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන ආ අවස්ථාවේදියි.
ඝාතන සිදුවීමේ ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන ඇති මහරගම ප්‍රදේශයේ පදිංචි සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි ඊයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණා.
මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම විමර්ශන අවසන් කිරීම සඳහා පැය 24ක කාලයක් ප්‍රමාණවත් නොවන හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් ගණේමුල්ල සංජීව ඝාතනය කළ බවයි.
එමෙන්ම ඝාතනය සිදු කිරීමට පෙර දින කිහිපයක් වෙඩික්කරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පෙර සූදානමක් සිදුකර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද පොලීසිය පවසා තිබෙනවා.
රුපියල් කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය සිදුකළ බවත්, සති දෙකකට වතාවක් රුපියල් ලක්ෂ 2 බැගින් තමන්ට වේතනයක් ලෙස අදාළ අපරාධකරුවන් ගෙවූ බවත් විමර්ශන නිලධාරීන් හමුවේ වෙඩික්කරු පවසා ඇති බවද වාර්තා වෙනවා.
විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු තවදුරටත් පාපොච්ඡාරණය කර ඇත්තේ, වෙඩි තැබීමෙන් පසුව තමන් කූලී රථ යෙදුමක් මගින් කුලී රථයක් ගෙන්වා ගෙන අධිකරණය අසල සිට මීගමුවට නුදුරු ප්‍රදේශයකට ගිය බවයි.
තමන් රැගෙන යෑමට මෝටර් රථයක් ඇති බව පැවසූවද එය අදාළ ස්ථානයේ නොතිබීම නිසා එලෙස සිදුකළ බව වෙඩික්කරු පවසා තිබෙනවා.
අනතුරුව තමන් ගිනි අවිය රැගෙන ආ කාන්තාව සමග වෙළෙඳසැලකට ගොස් ඇඳුම් මිලදී ගත් බව සැකකරු පවසා ඇති අතර පසුව මීගමුවට නුදුරු ප්‍රදේශයක සිට කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් කල්පිටියට ගොස් ඉන්දියාවට පළායෑමට සූදානම් වූ බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබුනා.
ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතනය තමන් විසින් සිදුකළ බවද ඔහු මෙහිදී අනාවරණ කර ඇති බවද වාර්තා වෙනවා.