දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (07) එම සැකකරුවන් ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු දෙදෙනෙකු සමඟ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්.
මාර්තු 21 වන දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණා.
මේ අතර හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළෙඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධය ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු ඊයේ (07) හිකකඩුව පොලිස් වසමේ ගිනිමැල්ලගමහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 23ක් වන ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුගිය 03 වන දින රාත්‍රී කාලයේ හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා තිබුණා.
එහිදී ඔවුන් දෙදෙනා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා.