25 C
Colombo
Tuesday, January 28, 2025

ලක්ෂ 500ක රෝහලක් හදලා සල්ලි කොයින්ද? (වීඩියෝ)

- Advertisement -

පසුගිය දිනවල අන්තර්ජාලයෙන් යම් දුරකට කතාබහට ලක් වූ පුද්ගලයෙක් වන්නේ ගෝනාපීනුවල ආර්.කේ. කුලතිස්ස මහතා. ඔහු ඇගයීමට ලක් කළ හැකි ඉතා වැදගත් ක්‍රියාවක් කළ නිසා. ඒ, ආර්.කේ. කුලතිස්ස සුව සෙවණ නමින් හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

දිරාපත්වෙලා තිබුණු ආරච්චිකන්ද රෝහලේ අවුරුදු අසූවක් පරණ ගොඩනැගිල්ල කඩලා ඔහු අලුත් ගොඩනැගිල්ල පෞද්ගලික වියදමින් ඉදි කර තිබුණා. සම්පූර්ණ ව්‍යාපෘතියට ලක්ෂ 500ක් විතර වියදම් වුණාලු.

ලක්ෂ පන්සීයක් ඔහුට කොහෙන්ද? ඔහු දියුණු වී තිබුණේ තමන්ගේම ව්‍යාපාරවලින් බව කියනවා. ඔහු එදිනෙදා ජීවිතයේදී කෙබඳු මිනිසෙක්ද කියා අප වැඩි විස්තර දන්නේ නැහැ. එහෙත්, මේ රෝහල ඉදිකිරීමේ ක්‍රියාව නම් යහපත් දෙයක් බව කියන්නම ඕනෑ.

කුලතිස්ස මහත්තයාත්, ඔහුගේ බිරිඳ එච්.පී.බී. බන්දුවතී නෝනාත් සාමාන්‍ය ගැමි ව්‍යාපාසරික පවුලකට අයිති,  සාමාන්‍ය ගැමි දේශීය සම්ප්‍රදායට අනුව හැදී වැඩුණු පවුලක්. තිස්සමහාරාමයේ තමන්ට තිබුණු දැවැන්ත පොල් ඉඩමක් විකුණා බැංකුවේ මුදල් දැම්මාලු. ඉන්පසු රෝහල් ගොඩනැගිල්ල හදන්නට අවශ්‍ය අවසර ගැනීම ආදී කටයුතු සම්පූර්ණ කරන විට බැංකුවේ තිබුණු මුදල් ලක්ෂ හාරසීයක් දක්වා වැඩි වුණාලු. ඒ මුදල සහ තවත් ලක්ෂ සීයක පමණ මුදලක් එක්ක රෝහල් ගොඩනැගිල්ල හැදුවාලු.

ඇත්ත කියන්නම එපැයි. මෙතරම් දැවැන්ත මුදලක් පුණ්‍යක්‍රියාවකට වෙන් කිරීම ගැන සාමාන්‍ය රටවැසියන් විස්මයට පත්වෙන බව හැබෑව. සාමාන්‍ය කෙනෙකු නොව, ධනවතෙකු වුව මෙතරම් මුදලක් පිනට වෙන් කිරීම ගැන පුදුම වේවි.

ලංකාවේ ධනවතුන්, තම අමතර ධනයෙන් සුඛෝපභෝගී කාර් මිලට ගැනීම වැනි ක්‍රියා ගැන සිතනවා මිස, සමාජ යහපතට වෙන් කිරීම ගැන හිතන්නේ ඉඳහිට. බිල් ගේට්ස් තමන්ගේ ධනය බිල්ගේට්ස් පදනමෙන් සමාජ යහපතට යොදවනවා වාගේ, ලංකාවේ ධනවතුන් සමාජ යහපතට කාලය ශ්‍රමය යොදවන්නේ නැති තරම්. හැකි හැම අවස්ථාවකම තමන්ගේම ආයතනවල සේවකයන් පවා සූරාකන්න හිතනවා මිස.

ගාල්ලේ හැදී වැඩුණු ඔහු තම බිරිඳ වන බන්දුවතී නෝනා සමග විවාහ වූ පසු තිස්සමහාරාමයට ගියාලු.

කුලතිස්ස මහතාගේ දියුණුවේ කතාවේ රසවත් කොටස තමයි, නොදියුණු බව කියන, කාෂ්ඨක නගරයක් වූ තිස්සමහාරාමයේ ඉඳන් ඔහු දියුණු වීම.

ගාල්ලේ මාධ්‍යවේදී සජීව විජේවීරගේ ලිපියක කුලතිස්ස මහතාගේ අදහස් මෙසේ සඳහන් වී තිබුණා.

‘ඒ කාලේ අද වගේ තිස්සමහාරාම නගරයක් තිබුණේ නැහැ. පොඩි කඩපිලක් තිබුණා. අපේ සීයාට එතැන කඩයක් තිබුණා. කරත්තවලින් මිනිස්සු එනවා. කඩපිල ළඟ ඉඳලා කතරගම කිරිවෙහෙරට යන්නේ නන්ද කැලේ මැදින්. අලි, කොඩි, වළස්සු ඉන්නවා. යන සමහරු ආයේ එන්නේ නැහැ. අලි ගහලා හරි, කොටියා කාලා හරි මැරිලා.

අපේ සීයාගේ කඩේ හැම දේම තිබුණා. බෙහෙත්වල ඉඳලා යකඩ දක්වාම සියලු දේ තිබුණා. ඉතින් මමත් පොඩි එකා සන්දියේ ඉඳලාම කඩේ වැඩ කරගෙන ඇවිත් ව්‍යාපාර දියුණු කරගත්තා. ඒ කාලේ ගැන ආපහු හැරිලා බලනකොට ඇත්තටම ලොකු සංතෝෂයක් තියෙනවා.’

තිස්සමහාරාමයේ වෙළඳාම ගැන ඔහු මෙසේ කියා තිබුණා.

‘අපි ගාව හැමදේම තිබුණා. බෙහෙත් වර්ග, සිල්ලර බඩු, පෙට්‍රල්, භූමිතෙල්, රෙදි පිළි, පොහොර හා කෘමි නාශක, ඒ විතරක් නෙවෙයි යකඩ බඩු පවා අපි විකුණුවා. ක්‍රමයෙන් මේ ප්‍රදේශයේ නිවාස හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම් වෙද්දී ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳාමට ලොකු ඉල්ලුමක් ආවා. ඒ නිසා අපි වඩාත්ම ජනප්‍රිය වුණේ කුලතිස්ස හාඩ්වෙයාර් හැටියට.

මමත් නෝනාත් මහන්සිවෙලා  මේ ව්‍යාපාර දියුණු කළා. ඒ උපයාගත්තු මුදල්වලින් දුප්පත් මිනිස්සුන්ට අපි උදව් කළා. ඒ වගේම ආගමික වැඩ ගොඩක් කළා. සමාජසේවා කටයුතු සඳහා නිතරම මුදල් යෙදෙව්වා.’

ඒ අනුව කුලතිස්ස මහතාගේ ව්‍යාපාර ක්ෂේත්‍රය වී තිබෙන්නේ තිස්සමහාරාමයේ කාලයත් එක්ක ඉදි වූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමුද්‍රව්‍ය අලෙවි කිරීම.

ජීවිත කාලයක් උපයාගත් දේවල්වලින් විශාල කොටසක් වෙන් කොට තව වසර ගණනාවක් යනතුරු රෝගීන්ට සහන ලැබෙන ඉදිකිරීමක් සිදු කිරීම ආදර්ශවත් කතාවක්. ඒ තරම් මිලකට තමන් මිලට ගන්නා සුඛෝපභෝගී යම් භාණ්ඩයකට වඩා මෙවැනි ක්‍රියාවකින් ලැබෙන සුවය උතුම් බව කුලතිස්ස මහතා හිතනවා විය හැකියි.

RECENT ARTICLES - SINHALA

වැඩි ගානට හාල් විකුණුවට ලක්‍ෂ 10ක දඩයක්

දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්‍ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද...

යෝෂිතට දීපු ඇපය ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (27) කරුණු පැහැදිලි කිරීමක් කළා. එහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ...

OIC ලා තුන්දෙනෙක්ට ඇප හිමිවූ අපූරු නඩුවක්

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර...

POPULAR ARTICLES

වැඩි ගානට හාල් විකුණුවට ලක්‍ෂ 10ක දඩයක්

දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්‍ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද...

යෝෂිතට දීපු ඇපය ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (27) කරුණු පැහැදිලි කිරීමක් කළා. එහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ...

OIC ලා තුන්දෙනෙක්ට ඇප හිමිවූ අපූරු නඩුවක්

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර...