පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින්.
රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවා.
රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින බව පැවසු අනුර මහතා රාජ්‍ය සේවකයින් තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටියා.
එමෙන්ම, මහජන ධනය සාංඝික දේපොළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බව සඳහන් කළ අනුර මහතා නොකළ යුතු දේ සිදුකළහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බවද පැවසුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බවයි.