‘ලෝක විනාසය ටිකෙන් ටික ළංවෙනවා. ඉක්මනින් ලෝකෙ හැම රටක්ම තම තමන්ගේ රටවල දේශගුණ අර්බුදයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න.’
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙට් දෙසැම්බර් 12 වැනිදා කරපු විශේෂ ප්‍රකාශයේ කෙටි සහ සරල තේරුම ඒක. එහෙම කියන්න හේතුව තමයි, මේ වන විට පැරිස් සමුළුවේදී හදාගත්ත ඉලක්ක එකකටවත් ළංවෙන්න ලෝකයේ ආණ්ඩු සමත් වුණේ නැති නිසා. විශේෂයෙන් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට යන්න නොදී, හැකි නම් 1.5ට අඩුවෙන් තියාගැනීම තමයි ලොකුම ඉලක්කය. ඇත්තටම 1.5 පහු වුණාමත් ලොකු විනාසයන් වෙන්න ඉඩ තියෙනවා.
ඒත් දැන් පේන විදියට ඉදිරියේදී සෙල්සියස් අංශක 3 දක්වා ගෝලීය උෂ්ණත්වය යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලෝකෙට බඩු බනිස්.
ඔහු මේක කිව්වෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය යන රටවල්වල මැදිහත්වීමෙන් ඔන්ලයින් මාර්ගායෙන් පැවැත්වූ දේශගුණ තත්වය පිළිබඳ සමුළුවේදී. ඒකට රටවල් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක නායකයන්, සිවිල් සමාජ නායකයන්, මහා නගරවල නගරාධිපතිවරුන් ආදී අය එකතු වී සිටියා.
පැරිස් සමුළුව කියන්නේ මීට ටික කාලෙකට කලින් ලෝකයෙ රටවල් එකතුවෙලා, දේශගුණ අර්බුදය ගැන කරපු සමුළුව. ඒකෙදී එයාලා ඉලක්කයක් හැදුවා. අහවල් කාලය වෙද්දී අපි අහවල් විදියට ගෝලීය උෂ්ණත්වය අඩු කරගන්න ඕනෑ කියලා. ගෝලීය උෂ්ණත්වය අඩු කරන්නේ කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනය නැති කරලා. ඔක්සිජන් වැඩි වෙමින්, උෂ්ණත්වය ආපහු පහළ යන්නේ එතකොට.
දැනට ලෝකයේ රටවල් 38ක් වගේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
‘දැන් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. දැනටමත් ලෝකෙ බරපතල දේශගුණ ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා. ඒ නිසා ලෝකෙ අනෙක් රටවල් හැමෝටම ඉක්මනින් ඒ තීන්දුව ගන්න කියලා මම තදින් ඉල්ලා සිටිනවා.’ ගුටරෙස් එහෙම කිව්වා.
ඔහු තදින්ම කිව්වේ මේ වෙලාවේ ලෝකෙ නායකයන් හිතාගන්න බැරි විදියට ලෝකය විනාසය කරා ගෙනයමින් ඉන්න බව. අනාගත පරපුරට බිඳිච්ච, විනාස වෙච්ච ලෝකයක් උරුම කරලා අපේ පරපුර මේ විදියට හැසිරෙන එක ඉතා නරක බව ඔහු පෙන්වුවා.
හදිසි තත්වයක් ප්‍රකාශ කරලා, කාබන්ඩයොක්සයිඩ් විමෝචනය බිංදුවට බස්සගත්තෙ නැත්තං මුලින්ම අපි වගේ දූපත් මට්ටමේ සහ දේශගුණ අර්බුදයෙන් වැඩිපුර තර්ජනයට ලක්විය හැකි රටවල් ඉදිරි වසර ගණනාවක් ඇතුළත විනාස වේවි. අපට අහෝ අපේ දරුවන්ට දේශගුණ සරණාගතයන් විදියට තවත් රටවල්වලට යන්න වේවි. කඳවුරුවල ඉන්න වේවි. ඉන්පස්සේ ලෝකෙ ලොකු රටවලුත් ටිකෙන් ටික විනාශයන්ට ලක් වේවි.
දේශගුණ අර්බුදය නිසා එකපාර ලෝකය විනාස වෙන්නේ නැහැ. තැනින් තැන වැඩිපුර ලැව්ගිනි ඇතිවේවි. නියඟ ඇතිවේවි. වතුර නැතිවේවි. රස්නය වැඩිවේවි. මුහුදු ගොඩගැලීම් සහ කුණාටු ඇතිවේවි. මුහුදු මට්ටම ඉහළ යාවි.
දැනට එංලන්තය 2030 වෙද්දී තමන්ගේ රටේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සීයට 68කින් අඩු කරන බව කියලා. යුරෝපා සංගමය 2030 වෙද්දී සීයට 55කින් අඩු කරගන්නවාලු. චීනය, ජපානය සහ දකුණු කොරියාව පවා මේ අලුත් ඉලක්ක ගැන එකඟ වෙලා. ඔවුන් කියන්නේ 2050-2060 වෙද්දී කාබන් විමෝචනය බිංදුවට බස්සනවා කියලා.
ඒත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව දිගින් දිගටම දේශගුණ අර්බුදය ගැන විද්‍යාත්මකව තහවුරු කරපු කරුණු ප්‍රතික්ෂේප කළා.
ඇත්තටම කාබන් විමෝචනය බිංදුවට බැස්සීම ලේසි වැඩක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම අපි පාවිච්චි කරන ඉන්ධන වර්ග අත්හරින්න ඕනෑ. වාහන පවා. අනෙක් කර්මාන්ත බොහොමයක් කාබන් විමෝචනය කරනවා. විදුලිබල නිෂ්පාදනය පවා.
ඒත්, අපට වෙන තෝරාගැනීම් නෑ.