වාහන ආනයනයේදී දැනට පවතින බදු මිල ලෝකයේ අන් කිසිඳු රටකට වඩා ඉතා ඉහළ බවත් ඒ අනුව වාහන මිල අධික ලෙස ඉහළ යන බවත ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමනායක මහතා පවසනවා.
වාහන ආනයන ගැටලු සම්බන්ධයෙන් අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළා.
එහිදී ඔහු කියා සිටියේ, මෙරට CHR හෝ Vezel වැනි වාහන විකිණෙන මිලට ලෝකයේ කිසිම රටක අලෙවි නොකරන බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් රාමනායක ද මහතා :
බදු ගොඩක් ජාති එකතු කරලා තියෙනවා මේ පාර, එක්කො CHR එකක් හරි නැත්නම් Vezel එකක් වගේ වාහනයක් මේ යන මිලට ලෝකයේ කිසිම රටක නැහැ. විකිණෙන්නෙත් නැහැ.විකුණන්නත් බැහැ.මෙච්චර බදු අය කරන කිසිම රටකුත් නැහැ.
ලක්‍ෂ 10ක වාහනයක් ජපානයේ, ඒ වාහනේ අපි නවසීලන්තයට ඇරියොතින් 20% ඩියුටිය. ලක්ෂ 12යි වටිනාකම. ඕක අපි බංලාදේශයට ඇරියහම 50% යි ඩියුටි එක.. එතකොට ලක්ෂ 10 වාහනය ලක්ෂ 15යි..මේ ලංකාවේ ඩියුටි එක 200% ක් වෙලා. එතකොට ලක්ෂ 10 වාහනය ලංකාවේ ලක්ෂ 30ක්.එතකොට ලෝක වෙළඳපොලේ බැලුවොත් අපේ වාහනය කොතනද තියෙන්නේ..එකම වාහනය එකම දේ, විකෘතියක්නේ වෙලා තියෙන්නේ.
මේ අතර මෙරටට ගෙන්වූ වාහන නිදහස් කිරිමේදී ඇති වූ ප්‍රමාදය මේ වනවිට නිරාකරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව හම්බන්තොට වරායේ සිරවී ඇති වාහන නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.
වාහන ආනයනය කිරිම සඳහා පැවැති තහනම ඉවත් කරමින් ඉකුත් පෙබරවාරි 01 වැනිදා සිට වාහන ආනයනයට අවසර ලබා දීමත් සමග මේ වනවිට හම්බන්තාට වරායට වාහන ලැබෙමින් පවතිනවා.
එලෙස වාහන ආනයනය කිරීමේදී පැවැති නීතිමය ගැටලුවක් හේතුවෙන් ආනයනය කළ වාහන රැසක් රේගුවෙන් නිදහස් කිරීමට අවසර හිමි වූයේ නැහැ.
එම බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.
ඒ අනුව අදාළ වාහන නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
නැව් 3කින් පමණ හම්බන්තොට වරායට පැමිණ තිබූ වාහන 500ක් පමණ මේ වනවිට නිදහස් කර ඇති බව සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළා.