උඩතලවින්න දස පුද්ගල ඝාතනය
2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.
ඉතා සාහසික අයුරින් අර්ධ ස්වයංක්‍රීය T56 ගිනිඅවි වලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගයන්ගේ සිරුරු වෑන්රථයක තිබී සොයාගනු ලැබීය.
මෙම සිද්ධියට සැක පිට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුලු සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගනු ලැබීය.
මහාධිකරණ නඩුව
ආරම්භයේදී දීපාලි විජේසුන්දර, සුනිල් රාජපක්ෂ හා එරික් බස්නායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කෙරුනු මෙම නඩුව පසුව ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුනි.
නීතිපතිවරයා විසින් හිටපු ආරක්‍ෂක ඇමැති ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනුකරනු ලැබුණි.
2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුලු චූදිතයන් 10කු චෝදනා වලින් නිදොස් කරනු ලැබීය.
එනම් රංජිත් විජේරත්න, කමල් විජේරත්න, සුනිල් ඩි.සිල්වා, අනුර කුමාර, බුද්ධි සුරංග දිසානායක, නිශාන්ත කුරුප්පු, ක්‍රිෂාන් විජේරත්න,සේන විජේසේකර, නලීන් වසන්ත රත්ගම සහ කිංස්ලි විතාරන යන හිටපු යුද්ධ හමුදා සාමාජිකයන් මෙලෙස මිනීමැරුම් චෝදනා වලින් නිදහස් විය.
W.M.R. බණ්ඩාර, H.M සුනිල් චන්ද්‍රසිරි, G.H.G කමල්, E.A කුමාර, D.M.B. සුරංග දිසානායක යන සෙසු චූදිතයන් පස්දෙනා මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය නියම කරන ලදී.
අදාළ තීන්දුව ප‍්‍රකාශ කළ මහාධිකරණය මිනී මැරීමට අදාළ චෝදනා පහකට සහ මිනී මැරීමට තැත් කිරීමට අදාළ චෝදනා පහකට වශයෙන් චෝදනා 10 කට විත්තිකරුවන් වැරදිකරුවන් බවට තීන්දු කෙළේ ය.
මරණීය දණ්ඩනයට අමතරව මෙම වරදකරුවන් හට එක් අයකුට වසර 100 බැගින් වූ සිරදඬුවම් ද නියම විය.
තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කරන ලදී.
එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාත්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඇලන් ඩේවිඩ් මහතාත්, රජයේ නීතීඥ චන්දිම වික්‍රම මහතාත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතර විත්තිකාර අභියාචකයන් පස්දෙනා වෙනුවෙන් අනිල් සිල්වා හා චන්දික පීරිස් යන නීතීඥ මහතුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිනු ලැබුවා.
අභියාචනාව අගවිනිසුරු අශෝකා ද සිල්වා, විනිසුරු P.A. රත්නායක, විනිසුරු නිමල් ගාමිණි අමරතුංග, විනිසුරු ජගත් බාලපටබැඳි හා විනිසුරු චන්ද්‍රා එක්නායක යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැණුනි.
මෙහිදී අභියාචක පාර්ශවයේ මූලික තර්කය වූයේ චූදිතයන් හට විරුද්ධව ඇති සාක්ෂි එකිනෙකට පරස්පර වීමයි.
එහිදී සාක්ෂිකරුවන් විසින් විත්තිකාර අභියාචකයන් හඳුනාගැනීමේදී තහවුරු කිරීම් පරස්පර වීම මත ‘පිළිගතහැකි සාක්ෂි’ ලෙස ඇසින් දුටු සාක්ෂි භාරගත නොහැකි බව තර්ක කෙරුණි.
මහාධිකරණ නඩුතීරණයේදී සාක්ෂි ආඥා පනතේ 45 වගන්තියේ ප්‍රතිපාදන අනුව ‘විශේෂඥ දැනුම’ යටතේ සිද්ධිය වූ ස්ථානයේදී සොයාගනු ලැබූ අනෙකුත් පරිවේෂණීය සාක්ෂි මත විශේෂඥයන් විසින් ලබාදුන් අදහස් පිළිගත් අතර සිද්ධිය වූ ස්ථානය ආසන්යේ ජීවත්වූ නිවැසියකු වූ සේපාලිකා වේරගොඩ විසින ලබා දුන් සාක්ෂි ද මහාධිකරණය විසින් පිලිගතහැකි සාක්ෂි ලෙස භාර ගන්නා ලදී.
කෙසේ නමුත් රජයේ රසපරීක්ෂකවරයා විසින් සිය වාර්තාව අපක්ෂපාතී ආකාරයෙන් ලබා දී නොමැති බවත් එබැවින් සාක්ෂි ආඥා පනතේ 45 වගන්තිය යටතේ ‘විශේෂඥ දැනුම’ යටතේ එම වාර්තාව පිළිගත නොහැකි බව අභියාචක පාර්ශවය විසින් තර්ක කරනු ලැබීය.
මෙහිදී පැරණි අධිකරණ තීරණ රැසක් ගෙනහැර දක්වමින් අභියාචකයන් පැවසුවේ ‘විශේෂඥ දැනුම’ යටතේ අදාල විශේෂඥයාගේ පෞද්ගලික අදහස් සාක්ෂි ලෙස භාවිතා කළ නොහැකි බවයි.(රැජිණ එරෙහිව විජේහාමි 62 න.නි.ව 425)
විනිසුරුවරයා විසින් කිසිසේත්ම සිය බලතල අදාළ විශේෂඥයා වෙත නොපැවරිය යුතු බවත්, විශේෂඥයාගේ පෞද්ගලික අදහස් සාක්ෂි ලෙස විනිසුරුවරයා විසින් පිළිනොගත යුතු බවටත් (සයිබු එරෙහිව අහමදු 50 නව නීති වාර්තා 104) මහාධිකරණ තීරණය විවේචනය කරමින් අභියාචකයන් තර්ක කරන ලදී.
අජිත් සමරකෝන් එරෙහිව නීතිපති (කොබෙයිගනේ නඩුව) (2004 2 SLR 2009) නඩුතීරණය පාදක කරගනිමින් ඔවුන් තවදුරටත් තර්ක කරනු ලැබුවේ විශේෂඥ දැනුම යටතේ යොදාගන්නා සාක්ෂි අධිකරණය විසින් වඩාත් සැලකිලිමත් ලෙස අදාල කරගත යුතු බවටයි.
තවද මහාධිකරණය විසින් පිළිගන්නා ලද ඇසින්දුටු සාක්ෂි පරස්පර භාවයකින් යුක්ත වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කෙරුණි.
එම ඇසින් දුටු සාක්ෂි පරස්පරතාවෙන් යුතු අතර පිළිගත නොහැකි බවට ප්‍රභල තර්ක ගොඩනැඟීමට පෙත්සම්කරුවන් සමත් විය.
එමෙන්ම අභියාචක පාර්ශවය ඉදිරිපත් කළ තවත් කරුණක් වූයේ අදාල සිද්ධිය වූ වේලාවේදී එම සිද්ධිය වූ ස්ථානයේ මෙම විත්තිකාර අභියාචකයන් රැඳී නොසිටි බවයි. මෙය සාක්ෂි නීතිය තුළ ‘අන්ස්ථානිකභාවය’ (alibi) සේ හඳුන්වයි.
එසේම මහාධිකරණය දඬුවම් නියම කිරීමේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුව සැලකිල්ලට ගෙන ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත් පමණින් විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් නියම කළ නොහැකි බවයි.
ඝාතකයින් නිදැල්ලේ
මේ අනුව අභියාචක පාර්ශවයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාව පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩුතීන්දුව නිශ්ප්‍රභ කරමින් අදාල විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.
ඒ අනුව 2009 ජූලි 24 දින ‘උඩතලවින්න දස පුද්ගල මිනීමැරුමට’ වරදකරුවන් ලෙස මරණීය දණ්ඩනයට නියම වී සිටි W.M.R. බණ්ඩාර, H.M සුනිල් චන්ද්‍රසිරි, G.H.G කමල්, E.A කුමාර, D.M.B. සුරංග දිසානායක යන විත්තිකරුවන් පස්දෙනාම මරණීය දඬුවමින් නිදහස් කරන ලදී.
මහාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවක් නිශ්ප්‍රභ කරමින් ඊට ප්‍රතිවිරුද්ධ අභියාචන නඩුතීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අවස්ථාවක් ලෙස ‘උඩතලවින්න ඝාතන අභියාචනා නඩුතීරණය‘ හඳුනාගත හැක.
මෙහිදී වඩාත් විවාදිත කරුණ වන්නේ මහාධිකරණය විසින් මූලික කරගනු ලැබූ සාක්ෂි පදනම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොවැදගත් ලෙස නොසලකා හැරීමයි.
චෝදනා වලින් චූදිතයන් නිදොස් කිරීමට ඔවුන්ට විරුද්ධව ඇති සාක්ෂි නොගැලපීම හා අන්ස්ථානික භාවය යන කාරණා අධිකරණය විසින් අදාල කරගන්නා ලදී.
කෙසේ වෙතත් අදවන තුරු මෙම සමූහ ඝාතනයට වගකිවයුතු කිසිවකුත් අධිකරණය ඉදිරියේ වරදකරු වී නොමැත.
එනම් ‘උඩතලවින්න සිද්ධිය‘ තවදුරටත් නොවිසඳුණු අපරාධයකි.
ඇතැමුන් පවසන්නේ සාක්ෂිකරුවන් බියවැද්දීම වැනි බලපෑම් මත සාක්ෂි පරස්පරවීම සිදු වූ බවය.
තවද ප්‍රභල දේශපාලන පවුලක නම් ගම් ඈඳුනු සිද්ධියක් වූ බැවින් අපරාධය යටපත්කිරීමට අදිසි හස්තයක් මෙම නඩුවට අදාළව ක්‍රියාත්මක වන්නට ඇත.
කෙසේ වෙතත් අද වන තුරු ඝාතනයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුවී නොමැත.
– කුසල් කාවින්ද අමරසිංහ –