සෑම දරුවෙකුගේම අධ්‍යාපනයේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
තම පාලනය යටතේ දී අධ්‍යාපනය යනු සියලුම දෙනාගේ අයිතියක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන බවයි ඔහු පවසන්නේ. අධ්‍යාපනය පුරවැසියන්ගේ මූලික අයිතියක් බවට ව්‍යවස්තාපිත්වම සහතික කරන අතර තමන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස සම අධ්‍යාපනය අහිමි කිරීම පිළිබඳව ආණ්ඩුවට විරුද්ධව නඩු ගොනුකළ හැකි තත්වයක් ඇති කරන බවත් ඔහු සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක,
“අපේ රට ගොඩනැගීමේදී පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ අධ්‍යාපනය. අපට භෞතික සම්පත් අඩුයි. ඒ වෙනුවට මානව සම්පත තිබෙනවා. අපේ රටේ දුප්පත්භාවයේ රේඛාව ඇන්දොත් දුප්පත්භාවයේ රේඛාවයි, නූගත්භාවයේ රේඛාවයි සමපාත වෙනවා. නූගත් නම්, දුප්පත්. දුප්පත්භාවයේ පහළින්ම ජීවත් වන්නේ නුවරඑළිය ජනතාව. අධ්‍යාපනයේ පහළින්ම ජීවත්වන්නේත් නුවරඑළියේ ජනතාව. අපේ රටේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් 74%ක් 08වන ශ්‍රේණියට පහළින් අධ්‍යාපනය ලැබූ අය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමයි, අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා. 2019 රිමාන්ඩ් බාරයට පත්වූ අයගෙන් 84%ක් 10වන ශ්‍රේණියට පහළින්. ඒ කියන්නේ අපරාධයි, අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා කියන එක. අපේ ආර්ථිකයටත්, දුප්පත්භාවය තුරන්කිරීමත්, මත්ද්‍රව්‍ය පාවිච්චිය අඩුකර ගැනීමටත්, අපරාධ අඩුකර ගන්නත් අධ්‍යාපනය වැදගත්. ඒ නිසා අපි කියනවා අපට වැදගත්ම අධ්‍යාපනය.
2016-2017 කාලයේ පාසල්වලට ඇතුල් වුණා තුන්ලක්ෂ තිස්දහසක් ශිෂ්‍යයන්. මේ අයගෙන් ශිෂ්‍යයන් සාමාන්‍ය පෙළට ප්‍රවිෂ්ට වීමට කලින් තිස්දහසක් පාසල අතහැර යනවා. ඒ කියන්නේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන දරුවන්ගේ 9%ක් දහවන ශ්‍රේණියේ විභාගයට ප්‍රථම පාසල හැර යනවා. පළමුවෙන පංතියට ඇතුළත් වෙන කිසිදු දරුවෙකු අතර මැදදී අධ්‍යාපනය අත්හැර නොයන තත්වයක් නිර්මාණය කිරීමට අපට අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යයි.
අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇතුලෙ පංතිභාර ගුරුතුමා තමන්ගේ පන්තියේ කිසියම් දරුවෙකු එක දිගට දින තුනක් පාසල් පැමිණියේ නැතිනම් අර නිලධාරී මහත්මයාට දැනුම් දෙන්න ඕනෑ. ඒ නිලධාරී මහත්මයා දරුවාගේ නිවසට ගොස් සොයා බලන්න ඕනෙ දරුවා අසනීපයෙන්ද, ආර්ථික ප්‍රශ්නයක්ද, වෙනත් අසරණභාවයට පත්වෙලාද, දෙමාපියන්ගේ ප්‍රශ්නයක්ද? සොයා බලා පන්සලේ ස්වාමීන්වහන්සේ, පල්ලියේ පියතුමා, කෝවිලේ පූජක තුමා, මව්ලවීතුමා මැදිහත්වෙලා ඒ දරුවාව පාසලට ගෙන්වා ගැනීමට උත්සාහ ගන්න ඕනෑ. කිසිදු දරුවෙකු අතරමගදි අධ්‍යාපනයෙන් එළියට වැටෙන්න නොදිය යුතුයි.
අපේ අධ්‍යාපනය දරුවන්ට විශාල බරක් වෙලා. ඒ නිසා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. කොළඹ දරුවන් දහසකට, දෙදහසකට රසායන විද්‍යාව උගන්වන තරුණ ගුරු මහතෙක් ප්‍රකාශ කර සිටියා තම පංතියට එකම දරුවෙක් හෝ නොපැමිණෙන දවසක, තමන් සතුටු වෙන බවට. මගේ ප්‍රශ්නය වුණේ ඒ ඇයි කියන එක. ඔහු කිව්වේ දරුවන්ට මේ දෙන වදය බලා සිටීම අපහසු බවයි. ළමුන් දහසක් සිටින පංතියක සතියකට පනස් දෙනෙක්වත් මානසික වෛද්‍යවරයෙකු හමුවීමට යනවා. ඒ, මේ අධ්‍යාපනය දරා ගැනීමට නොහැකිවීම නිසා. එහෙම අධ්‍යාපනයක් අපේ රටට අවශ්‍යද? මේ අධ්‍යාපනයේ බර ක්‍රමානුකූලව අඩු කරන්න ඕනෑ. 08 වසරට එළඹෙන ඒ දරුවා කුමන දිසාවකටද ගමන් කරන්නේද යන්න දරුවාත්, ගුරුවරයාත්, දෙමව්පියනුත් එකතු වී තීරණය කළ යුතුයි. දෙමව්පියෝ සෑම කෙනෙක්ම උත්සාහ ගන්නේ දරුවා ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් කරන්න. අපේ වෘත්තීන් පිළිබඳ සමාජ පිළිගැනීම වෙනස් කළ යුතුව තිබෙනවා. සෑම වෘත්තියකටම පුහුණුවක් සමග වටිනාකමක් ලබාදෙන්න ඕනෑ.
ලෝකයේ අධ්‍යාපනයේ විවිධ පාරවල් තිබෙනවා. අපිට ඒ පිළිබඳ අවබෝධයක් සහ වටිනාකමක් ඕනෑ. සමුද්‍රීය විෂය ක්ෂේත්‍රය ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රයට ඇතුළත් විය හැකි තැනක්. ඉස්සර නාවික ක්ෂේත්‍රයේ සිටියේ කපිතාන්ලා, සෙකන්ඩ් ඉංජිනියර්ස්ලා, යුරෝපයේ හා ඇමෙරිකාවේ අය. දැන් නාවුක ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්නේ යුක්රේනය, රුසියාව, පිලිපීනයේ අය. අපට තරග වැදිය හැකි ශ්‍රම බලකායක් හදන්න පුළුවන්. සමුද්‍රීය වෘත්තීය ක්ෂේත්‍රයේ ලෝක පංගුවෙන් 4%ක් අපි අල්ලා ගත්තොත් ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් හදන්න අපට හැකියාව තිබෙනවා. අපි දරුවෝ හදන්න ඕනෙ එතැනට. අපි ආණ්ඩුවේ වගකීමක් හැටියට පළමුවන පංතියට ඇතුළත් වන දරුවෙක් අධ්‍යාපන නිපුනතාවයකින් හෝ වෘත්තීමය නිපුනතාවයකින් තොරව පාසල් අධ්‍යාපනයෙන් එළියට වැටෙන්න ඉඩදෙන්නේ නැහැ.
සිංගප්පූරුවේ ඇත්ත පදනම තිබෙන්නේ අධ්‍යාපනයේ. පළමුවන පංතියට ඇතුළත් වන දරුවන්ගෙන් 58%ක් උපාධිධාරීන් ලෙස එළියට යනවා. 20%ක් වෘත්තීමය ඩිප්ලෝමාධාරීන්. ලංකාවේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලට ඇතුළත් වන්නේ 38,000යි. ඒ කියන්නේ 11%යි. මේ තත්වය දියුණු කිරීම අපේ ප්‍රධානම කාර්යය ය.
සමහරුන්ගේ ප්‍රශ්නයක් වන්නේ අපේ පාලනයක් යටතේ පෞද්ගලික අධ්‍යාපනයට මොකක්ද කරන්නේ? අපේ මූලික ප්‍රතිපත්තිය තමයි ඒ දරුවාට අධ්‍යාපනය ලබාගන්න පුළුවන්ද බැරිද යන්න දෙමාපියන්ගේ පොකට් එකේ තරම මත තීරණය නොවිය යුතුයි කියන එක. මුදල් ඇත්නම් ඉගෙනීම කළ හැකි බව හෝ මුදල් නැතිනම් අධ්‍යාපනය ලැබිය නොහැකි බව කිසිසේත් සාධාරණ වන්නේ නැහැ. එය අයුක්තිසහගතයි. ඒ නිසා අපි කියනවා සෑම දරුවෙකුගේම අධ්‍යාපනයේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධ්‍යාපනය සියලුම දෙනාගේ අයිතියක් බවට පත්කරනවා. අධ්‍යාපනය පුරවැසියන්ගේ මූලික අයිතියක්. තමන්ගේ පාසලට ඉංග්‍රීසි ගුරුවරයා නැතිනම්, පාසලට විද්‍යාගාරයක් නැතිනම් තමන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම පිළිබඳව ආණ්ඩුවට විරුද්ධව නඩු ගොනුකළ හැකි තත්වයක් ඇති කළ යුතුයි.
අධ්‍යාපනයේ විශාල විෂමතාවයක් ඇතිවී තිබෙනවා. අපේ රටේ පාසල් දහදහස් එකසිය හැටඑකක් තිබෙනවා. පාසල් පන්දහස් එකසිය විසිඑකක ළමයි 200ට අඩුයි. සියලුම පාසල් සඳහා තුන්ලක්ෂ විසිදහක් වසරකට ඇතුල් වෙනවා. එක පංතියකට වැටෙන්නේ ළමයි 32ක්. හැබැයි ඇත්ත තත්වය එහෙම නැහැ. එහෙම නොවී තිබෙන්නේ ඇයි. 2017 සංගණන වාර්තාවක තිබෙනවා එකම ළමයෙක් හෝ පළමුවෙනි පංතියට ඇතුළත් වී නොමැති පාසල් 450කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව. එක ළමයෙකු ඇතුළත් වූ පාසල් 137ක් තිබෙනවා. ළමුන් දෙදෙනෙකු ඇතුළත් වූ පාසල් 138ක් තිබෙනවා. පාසල් 36ක් තිබෙනවා ඇප්ලිකේෂන් 96,000කට වැඩියෙන් තිබෙන. මෙයින් පෙන්නුම් කරන්නේ පාසල් අතර පවතින විශාල විෂමතාවයයි. අපි මේ පාසල්වල විෂමතාවය අවම කරමින් අපේ භෞතික සම්පත සහ මානව සම්පත ඒ කියන්නේ ගුරුවරුන් සහ ඉඩම්, ගොඩනැගිලි ඉතා හොඳ කළමනාකරණයකට පත්කරනවා. අපි පාසල් පද්ධතිය යළි ප්‍රතිව්‍යුහගත කරනවා.
ලෝකය ඉව මත ගමන් කළ කාලය ඉවරයි. ලෝකය ගමන් කරන්නේ දත්ත මතයි. අපි අධ්‍යාපනයේ සැලසුම් හදන්න ඕනෑ දත්ත, තොරතුරු මතයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අයත් ප්‍රදේශයේ ඊළඟ වසරේ, ඊළඟ වසර පහේ දරුවන් කොතරම් බිහිවේවිද කියන එක තමයි අධ්‍යාපනය පිළිබඳව මූලිකවම සලකා බැලිය යුතු දත්තය. ඒ මතයි සෙසු සියලු සැලසුම් හදන්න ඕනෑ. අපි මේ මානව සම්පත, භෞතික සම්පත විශාල ලෙස අපතේ යවමින් තිබෙනවා. ළමයි 80ක් සිටින පාසලෙත් ගුරුවරු 10ක් ඉන්නවා. ඒ කියන්නේ ළමයි 8කට එක ගුරුවරයයි. ප්‍රශස්ත මට්ටම 20කට එක ගුරුවරයෙක්. මේක අධි ප්‍රශස්ත මට්ටමක්. මෙසේ බලන විට භෞතික හා මානව සම්පත් විශාල අපතේ යාමක් සිදුවෙලා තිබෙනවා. එය අපි මනාව කළමනාකරණය කරනවා.
අධ්‍යාපනය රජයේ මූලික වගකීමක් කරනවා. ලෝකයේ අධ්‍යාපනය ආකර තුනකට පවතිනවා. රාජ්‍ය අධ්‍යාපනය. පෞද්ගලික අධ්‍යාපනය සහ විදෙස් අධ්‍යාපනය. අධ්‍යාපනය ලෝකයේ සංසරණය වෙනවා. විදෙස් අධ්‍යාපනයත් ලැබිය යුතුයි. යම් කෙනෙකුට තෝරා ගැනීමක් ලෙස රාජ්‍ය අධ්‍යාපනය හෝ පෞද්ගලික අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලැබිය හැකියි. අද පෞද්ගලික අධ්‍යාපනය තිබෙන්නේ තෝරා ගැනීමක් ලෙස නොවේ. වෙන කළ හැකි දෙයක් නැති නිසා. නිවාස උගස් කර උගන්වනවා. අපේ රටේ අධ්‍යාපනයේ බරපතළ ඛේදවාචකයක් තිබෙන්නේ. අධ්‍යාපනය තෝරා ගැනීමක් ලෙස නියාමනයට ලක්කරමින් පෞද්ගලික අධ්‍යාපනය පවත්වාගෙන යා යුතුයි.
දරුවෙක් පාසල් යන්නේ වසර 13ක්. අවුරුදු 25න් ගුරු පත්වීම ගන්නා ගුරුවරිය වසර 30ක් හෝ 35ක් පාසල් යනවා. වසර 05න් 05ට දැනුම් අලුත් වෙන බව සාමාන්‍ය තර්කයක්. නමුත් අපේ ගුරුවරු ළඟ තිබෙන්නේ වසර 35කට පෙර ලබාගත් දැනුමක්. දැනුම වෙනස් වෙනවා. ඒ නිසා වසර පහෙන් පහට නව දැනුම ලබාදෙන දුරස්ථ පාඨමාලාවන් අපි ආරම්භ කළ යුතුවෙනවා. නව දැනුම ගුරුවරුන් වෙත ගලාගෙන යා යුතුයි. පරිගණක භාවිතය, අන්තර්ජාලය සැරිසැරීම, තාක්ෂණය එකතු කර ගැනීම පිළිබඳ දැනුම ගරුවරයාට අවශ්‍යයි. එය අපි වර්ධනය කළ යුතුයි.
අපි අපේ පාලනය යටතේ දී ගුරු වෘත්තිය අපේ රටේ ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් තුළට ගේනවා. ගුරුවරයෙකුට සමාජයේ පිළිගැනීමක් සහිත වටිනාකමක් සහිත වැටුප් තලයක් හිමි විය යුතුයි. අපේ රට ගොඩඒමේ මාවත ලෙස අධ්‍යාපනය අපි පිළිගන්නවා. අපි නව අධ්‍යාපන ක්ෂේත්‍ර ගණනාවක් ගැන සොයා බලමින් ඉන්නවා. විශේෂයෙන්ම IT ක්ෂේත්‍රය. අපි සොයා බැලුවා ඉන්දියාව IT වලින් ඉහළට ආ ආකාරය පිළිබඳව. 90 දශකයේ ආරම්භයත් සමග 3G, 4G කිසිවක් නැති කාලයේ ටවර් එකක් වටා කිලෝ මීටර් දෙකක සීමාවක සිග්නල් තිබෙන ප්‍රදේශයේ ඉන්දියාව IT යුනිවර්සිටි එකක් ආරම්භ කරනවා. ඒ අසළම IT සිටි එකක් ස්ථාපිත කරනවා. කිලෝ මීටර් දෙකක ආසන්න ප්‍රදේශයේ. එහෙම ආරම්භ කළ ඉන්දියාව විසින්දන් මේ වෙන කොට ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාවේ කෙනෙක් වීමේ අවස්ථාව ලබාගෙන තියෙනවා. ලෝකයේ ප්‍රධානම මෘදුකාංග සමාගම්වල උඩින්ම ඉන්නේ ඉන්දියානුවන්. ඉන්දියාව 21 වැනි සියවසට අවශ්‍ය ශ්‍රමිකයා කවුදැයි හඳුනා ගත්තා. මේ ශත වර්ෂයට අවශ්‍ය වන ශ්‍රමිකයා ඔවුන් ගිය ශත වර්ෂයේ හැදුවා. අපි දන්නවා අපේ පාලකයන්ට එහෙම දැක්මක් තිබුණේ නැහැ. ඊළඟ දශකයේ ලෝකයේ ශ්‍රමිකයා කවුද; තව අවුරුදු දහයකින් නව දැනුම සහිත ශ්‍රමිකයන් ලෝකයට ඕනෑ වෙනවා. තව දශකයකින් ලෝකයට අවශ්‍ය දැනුම සහිත ශ්‍රමිකයා අපි අද නිර්මාණය කරන්න ඕනෑ. අපේ පාලකයන්ට එහෙම දැක්මක් නැහැ.
නව දැනුමක් සහිත නූතන වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයා නිර්මාණය කරන්න අපෙ පාලකයන්ට උවමනාවක් තිබුණේ නැහැ. ලංකාවේ ශ්‍රම හමුදාව ලෝකයේ අත්පත් කරගෙන තිබෙන්නේ රියදුරන්, ගෘහ සේවකයන්ගේ ශ්‍රම වෙළඳපොළයි. මේ පාලකයෝ පරම්පරා ගණනාවකින් අපේ පරම්පරාව පස්සට ගෙනගොස් තිබෙනවා. මේ වෙලාවේ ලෝකයේ සිටිය යුතු පරම්පරාව නොවෙයි ලංකාවේ සිටින්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ලෝකෙට නව ලෝක වෙළඳපොළට අවශ්‍ය නව දැනුම සහිත ශ්‍රමිකයා හදනවා. 2030 දී ලෝකයට මොන වගේ පරම්පරාවක්ද වුවමනාද, ඒ පරම්පරාව අපි හදනවා. ඒ ඉලක්කය ඇතිව අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරන්න අපි සූදානම්”