25 C
Colombo
Thursday, November 28, 2024

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය

- Advertisement -

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙකු පමණක් වන අතර එයින් කාන්තාවන් 45 දෙනෙකුම තේරී පත්ව තිබෙන්නේ එක් සභා වාරයකට පමණයි.

එක් වතාවකට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කළ 31 දෙනාගෙන් වැඩිම කාලයක් මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර ඇත්තේ අමරා පියසීලි රත්නායකයි.

අවස්ථා හයක දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය අඛණ්ඩව වසර 33ක් මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළා.

1931 අතුරු මැතිවරණයෙන් ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනයෙන් තේරී පත් වූ ඇඩ්ලින් මොලමුරේ ව්‍යවස්ථාදායක සභාවට තේරී පත් වූ පළමු කාන්තාව ලෙස ලංකා ඉතිහාසයට එක් වනවා.

1956 අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරිය ලෙස පත්වූ විමලා විජයවර්ධන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු කැබිනට් ඇමතිවරියයි.

සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ අතර ඇගේ දියණියක් වූ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය බවට ද පත් වුණා.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වීමට පෙර 1994 වසරේ දී මහ මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරිය ලෙසට ද කටයුතු කළා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ලැයිස්තුව හඳුන්වා දීමෙන් පසු මන්ත්‍රීවරියන් 19 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පත් වී තිබෙනවා.

නමුත් 2001 සිට 2010 දක්වා කාලය තුල කිසිම කාන්තාවකට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් ලැබී නැහැ.

අවසන් පාර්ලිමේන්තුවේ දී ජාතික ලැයිස්තුවෙන් ද හතර දෙනෙක් සහිතව කාන්තාවන් 12 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ ද අධිකරණ තීන්දුවක් නිසා ඩයනා ගමගේට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුණා.

මීට අමතරව 8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වූ ගීතා කුමාරසිංහට ද අධිකරණ තීන්දුවක් හේතුවෙන් සිය මන්ත්‍රී ධූරය අහිමි වුණා.

ඉතිහාසය දෙස බැලූ විට මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත්තේ තමන්ගේ පවුලේ ළඟම පිරිමි ඥාතියෙකුගේ අභාවයෙන් හෝ දේශපාලනයට සම්බන්ධ පවුල් වලට සම්බන්ධ වීමෙන් හෝ ඉපදීමෙන් වුවත්, මෙවර මන්ත්‍රීවරියන් බහුතරයක් එම සම්ප්‍රදාය බිඳ දමා ඇති බව නිරීක්ෂණය වනවා.

සැමියන්, පියවරුන්, සහෝදරයන් මියයාමෙන් පසු ජාතික දේශපාලනයට පිවිසුණු කාන්තාවෝ

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ඇතැම් රටවල් මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ජනගහනයට සාපේක්ෂව කාන්තා මහජන නියෝජිතවරියන් දේශපාලනය තුළ නියෝජනය නොවීමයි.

ස්වාධීන කාන්තාවකට දේශපාලනයට පැමිණ ජාතික තලය දක්වා පිවිසීමට දැවැන්ත බාධක රැසක් ඇති දකුණු ආසියානු කලාපය යනු කාන්තාවන් රාජ්‍ය නායකයන් ලෙස පත් වූ පළමු රටවල් වීම ද විශේෂත්වයක්.

එවැනි අවස්ථා තිබියදීත් තවමත් කාන්තාවන් දේශපාලනයට පැමිණීම මෙම රටවල්වල සැලකිය යුතු තරම් අඩු මට්ටමක පවතින්නේ ඇයිද යන්න නිරීක්ෂණය කළ හැකි එක් කරුණක් වන්නේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා දකුණු ආසියානු රටවල් වල ජාතික තලයේ සාර්ථක වූ හෝ දැවැන්ත චරිත ලෙසින් ඉස්මතුව ඇති බහුතරයක් කාන්තාවන් සිය සැමියා, පියා හෝ පිරිමි සහෝදරයන් මිය යාමෙන් පසුව ඔවුන් වෙනුවට ඔවුන්ගේ බලය පවත්වාගෙන යාමට පැමිණි අයවලුන් වීමයි.

එනම් කාන්තාවකට දේශපාලනයට පැමිණීමට විවිධ සංස්කෘතිකමය හා සමාජීය බාධක රැසක් පැවතියද, දකුණු ආසියානු කලාපයේ කාන්තා දේශපාලනයේ දැවැන්ත චරිත බොහොමයකට සිය බලගතු දේශපාලන පවුල් පසුබිම් තම දේශපාලන ගමන තීරණය කිරීමට දැවැන්ත ලෙස උපකාර වී තිබෙන බවයි.

එවැනි පවුල් පසුබිමක් නොමැති අයට එය ඉතා දුෂ්කර මාර්ගයක් වී තිබෙන බව ට එය සාක්ෂි සපයනවා.

ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය, මුස්ලිම් රාජ්‍යක පළමු රාජ්‍ය නායිකාව වැනි වාර්තා දකුණු ආසියාව තුළ පවතින නමුත්, මෙම කාන්තාවන් දේශපාලනය පැමිණ ඇත්තේ දේශපාලනයේ නිරත වී සිටි සිය පවුලේ ප්‍රධාන පිරිමි සාමාජිකයා මිය යාමෙන් පසුවයි.

ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, පෞර්ෂය, කැපවීම, ශක්තිය, දේශපාලන බුද්ධිය හා අනෙකුත් බොහෝ කාරණා ඔවුන්ගේ දේශපාලන ගමන් මගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කළ ද දකුණු ආසියාවේ සුලභව දැකිය හැකි මෙම තත්වය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ද එසේම පවතිනු ලැබීම දක්නට ලැබෙනවා.

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ආසන්න වශයෙන් 23 දෙනෙකු පමණ බලයට පත් වීමට එම තත්වය අවශේෂ උපකාරයක් සපයා තිබෙන අතර අගමැති ධූර දෙකක් හා ජනාධිපති ධූරයක් ද ඒ අතර වනවා.

එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සැමියා, පියා හෝ සහෝදරයාගේ හිඩැස පුරවන්න ආ තවත් මන්ත්‍රීවරියන්,

1977 දී ඩබ්. එම. විමලරත්න බණ්ඩාරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ අමරා පියසීලි රත්නායක

1977 දී එස්. ද සිල්වා රණසිංහගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සුනේත්‍රා රණසිංහ

1982 දී බන්දුලහේවා සේනාධීරගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ දයා සේපාලි සේනාධීර

1983 දී කේ.ටී. පුලෙන්ද්‍රන්ගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ රාසමනෝහරි පුලේන්ද්‍රන්

1987 දී පාර්ලිමේන්තුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් කීර්තිසේන අබේවික්‍රම ඝාතනය වූ පසු ඔහුගේ සහෝදරිය කීර්තිලතා අබේවික්‍රම

1991 මුදියන්සේ තෙන්නකෝන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සෝමා කුමාරි තෙන්නකෝන්

1993 දී ලලිත් ඇතුලත්මුදලි ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලි

1994 දී නන්ද එල්ලාවලගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ සුරංගනී එල්ලාවල

2000 දී එම්. එච්. එම්. අෂ්‍රොෆ්ගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ ෆේරියල් අෂ්‍රොෆ්

2008 දී ටී. මහේශ්වරන්ගේ ඝාතනයෙන් පසුව ඔහුහේ බිරිඳ විජයකලා මහේෂ්වරන්

2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යනු 1994 ජනාධිපතිවරණය සඳහා මෙරට පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරඟකාරියයි.

1994 දී පාර්ලිමේන්තු මැතිවරණයේ වාර්තාගත ජයක් ලබා අගමැති ධූරයට පත් ව සිටි ඇය,මීට පෙර සිය සැමියා වූ විජය කුමාරතුංගගේ දේශපාලන කටයුතුවලට සහය දක්වමින් සිටි අතර 1988 දී ඔහු ඝාතනය වීමෙන් පසුව ජාතික තලයේ දේශපාලනය පිවිසුණා.

ඇය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක ලෙසඅගමැතිවරුන්ගේ දියණියයි.

1994 ජනාධිපතිවරණය යනු මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලම් එක කළ ජනාධිපතිවරණයක් වන අතර එහි විවිධ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූවා මෙන් ම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට මරාගෙන මැරෙන ප්‍රහාර ද එල්ල වුණා.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයා වූ, එවකට විපක්ෂ නායක ගාමිණී දිසානායක එම ප්‍රහාරයකින් මිය ගිය අතර, හිස් වූ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරඟ කළේ ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායකයි.

කෙසේනමුත් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරිනියන් දෙදෙනාම සිය සැමියාගේ අභාවයෙන් පසුව ජාතික තලයේ දේශපාලනයට පිවිසි වැන්දඹුවන් වීම විශේෂත්වයක්.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුළු ඡන්ද ප්‍රමාණයෙන් 62% ක් ලබාගනිමින් අතිවිශාල ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ පළමු සහ මෙරට ඉතිහාසයේ මෙතෙක් පත්ව ඇති එකම ජනාධිපතිවරිය බවට පත්වුණා.

එමෙන්ම ඇය මේ දක්වා පත්ව ඇති රටේ දෙවන අගමැතිනිය ද වනවා.

10 වන පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන්

ආචාර්ය හරිනි අමරසූරිය (අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය) ජාතික ජන බලවේගය – මනාප- 655,289  – කොළඹ

සරෝජාපෝල්රාජ් (කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය)

ජාතික ජන බලවේගය – මනාප- 148,379  – ගාල්ල

හේමාලි සුජීවා – ජාතික ජන බලවේගය – මනාප- 66,737 – ගම්පහ

මුතුමැණිකේ රත්වත්තේ – ජාතික ජන බලවේගය – මනාප- 32,145 – දිගාමඩුල්ල

ආචාර්ය කෞශල්‍යා ආරියරත්න – ජාතික ජන බලවේගය – මනාප- 80,814 – කොළඹ

සමන්මලී ගුණසිංහ – ජාතික ජන බලවේගය – මනාප- 59,657 – කොළඹ

ගීතා කුමාරී හේරත් – ජාතික ජන බලවේගය – මනාප- 84,414 – කුරුණෑගල

නිලුෂා ලක්මාලි – ජාතික ජන බලවේගය – මනාප- 48,791 – 

සාගරිකා අතාවුද – ජාතික ජන බලවේගය –  මනාප- 59,019 – කෑගල්ල

හිරුණි විජේසිංහ – ජාතික ජන බලවේගය – මනාප- 44,057 – පුත්තලම

නිලන්ති කොට්ටහච්චි – ජාතික ජන බලවේගය – මනාප- 131,375 – කළුතර

ඔෂානි උමංගා – ජාතික ජන බලවේගය – මනාප- 69,232 – කළුතර

චතුරි ගංගානි – ජාතික ජන බලවේගය – මනාප- 42,930 – මොණරාගල

තුෂාරි ජයසිංහ – ජාතික ජන බලවේගය – මනාප- 58,223 – නුවර

දීප්ති වාසලගේ – ජාතික ජන බලවේගය – මනාප- 47,482 – මාතලේ

සැමුවෙල් අම්බිගා – ජාතික ජන බලවේගය – මනාප- 58,201 – බදුල්ල

හසාරා නයනතාරා – ජාතික ජන බලවේගය – මනාප- 82,058 – ගාල්ල

අනුෂ්කා තිලකරත්න – ජාතික ජන බලවේගය – මනාප- 34,035 – නුවරඑළිය

ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – ජාතික ජන බලවේගය – මනාප- 33,346 – නුවරඑළිය

නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර (ජාතික ලැයිස්තුව) – ජාතික ජන බලවේගය

චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල – සමගි ජන බලවේගය – මනාප- 30,780 – නුවර

රෝහිණි කවිරත්න – සමගි ජන බලවේගය – මනාප- 27,845 – මාතලේ

මෙම මන්ත්‍රීවරියන් 22 අතුරින් මන්ත්‍රීවරියන් 20 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළමු වතාවටයි.

එයින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයට 2020 මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර ජයග්‍රහණය කළා.

සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 3වන වතාවටයි.

මෙවර තවත් පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු නම් නොකර තිබිය දී වුව ද කාන්තාවන් 22ක් මේ වන විට පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර, එය සමස්ත පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් ප්‍රතිශතයක් ලෙස 9.77% ක්.

ඒ අනුව අන්තර් පාර්ලිමේන්තු සංසන්දයේ කාන්තා නියෝජන ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 166 වන ස්ථානය දක්වා ඉහළ යනු ඇති.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...