මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඊයේ (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කර තිබුණා.
එහිදී නියම කෙරුණේ සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
එමෙන්ම, සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද නියෝග කළා.
යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මින් පෙර සීඑස්එන් නාලිකාව හා සම්බන්ධ පරීක්ෂණයක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ, 2016 වසරේ ජනවාරි 30 වන දිනයි.
එම අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනකු පුරා මාස 1 1/2කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබූ අතර මහාධිකරණය කළ නියෝගය අනුව 2016 මාර්තු 14 වන දින ඔවුන් ඇප මත නිදහස් කෙරුණා.
එහිදී ඔවුන්ට එරෙහිව, සී.එස්.එන්. නාලිකාව ස්ථාපිත කිරීමේදී යොදවා ඇති රුපියල් මිලියන 234ක ප්රාග්ධනය අතරින් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ගැනීම, කූඨ ලේඛන සකස් කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී පරිහරණය, රේගු පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම හා සමාගම් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා එල්ල වුණා.
මේ අතර, රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි පර්චස් 30ක පමණ ඉඩමක් මිලදී ගැනීමක් සහ එහි නිවසක් ඉදිකිරීමක් පිළිබඳව 2016 වසරේ මැයි මාසයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ඔහුට අමතරව එම ඉඩම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු නාමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන්ද ඉඩමේ හිමිකාරිය වූ ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මියගෙන් මෙන්ම දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ලෙස එවකට කටයුතු කළ ධනසිරි අමරතුංග මහතාගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගත් බවද වාර්තා වුණා.
ඊයේ (27) දින මෙම ඉඩමට අදාළ කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ වන මෙම නඩුවේ සැකකරුට එරෙහිව පැවැත්වෙන විමර්ශන මාලාවක් අතරින් මෙය එක් විමර්ශනයක් පමණක් බව සඳහන් කළා.
මෙම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන තුනක් පැවැත්වේ.
මීට අදාළව දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500ක නිවසක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සැකකරුට එරෙහිව එක් විමර්ශනයක් පැවැවෙනවා.
ඊට අමතරව, සී.එස්.එන්. නාලිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් නඩු කටයුත්තක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙනවා.
“එම විමර්ශන මාලාවේ එක් විමර්ශනයක් තමයි මෙම නඩු කටයුත්ත” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2012 වසරේ රත්මලාන, සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට සැකකරු විසින් නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් මිල දී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා”
“ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නමක් මෙම ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුවේ සඳහන් වෙනවා. මේ කාන්තාව සැකකරුගේ මිත්තණිය බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එම කාන්තාව මෙම නඩු කටයුත්තේ පළමු වන සැකකාරිය වශයෙන් නම් කර තිබෙනවා. මෙම තැනැත්තිය සුලේමන් රෝහලේ මෙන් ම ගුරුවරියක ලෙසත් සේවය කර තිබෙනවා.”
“ඊට අමතරව ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක්. ඇයට මුල දී හිමි වී තිබෙන්නේ රුපියල් 250 ක හෝ 300 ක වැටුපක් පමණ යි. මේ තරම් විශාල දේපළක මිලදී ගැනීමට තරම් මුදලක් ඇය සතුව තිබී නැහැ. ඇය මුලින් ම පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා තමන් සතුව නිශ්චල දේපළ නැහැ කියලා. පසුව ඇය සඳහන් කර තිබෙනවා, දෙවන සැකකාර යෝෂිත රාජපක්ෂ මේ දේපළ මිල දී ගත්තා කියලා.”
“තවත් අවස්ථාවක ඇය පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර තිබෙනවා මුස්ලිම් ජාතිකයෙක් ලබා දුන් මැණික් මල්ලක් විකුණා ලැබුණු මුදල්වලින් මේ දේපළ මිල දී ගත් බව. පසුව මේ ඔප්පුව පොලිසිය විසින් සොයා ගත්තේ පාලිත ගමගේ නමැත්තෙක් භාරයේ තිබිලා. ඔහු සඳහන් කර තිබෙනවා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ඔප්පුව ලැබුණා කියලා.”
“ඒ අනුව පැහැදිලි වෙනවා, මෙම ඉඩමේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නම සඳහන්ව තිබුණත් එය පාලනය කර තිබෙන්නේ වෙනත් පිරිසක් බව,” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර යෝෂිත රාජපක්ෂට ලැබුණු ආදායම් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර තිබුණා.
“සැකකරු 2006 වසරේ ලුතිනන්වරයෙකු වශයෙන් නාවික හමුදාවට බැඳී 2016 වසරේ වැඩ තහනමට ලක්ව තිබෙනවා. නාවික හමුදාවේ සේවය කරන විට ඔහුට ලැබී තිබෙන්නේ මාසිකව රුපියල් 73000/- ක වැටුපක්. එම මුදල සෘජුවම ඔහුගේ ගිණුමට බැර වී තිබෙනවා. ඔහු එම මුදල් ආපසු අරගෙන නෑ. එවැනි තත්ත්වයක් යටතේ සැකකරු ලක්ෂ 350ක් වැනි මුදලක් යොදවා මෙවැනි දේපලක් මිලදී ගත්තේ කෙසේ ද? ඒ අනුව පැහැදිලි වෙනවා මෙම දේපළ මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබෙන ආකාරය.”
“ඒ වගේ ම පැහැදිලි වෙනවා අසාධු මුදල් වලින් මේ මිලදී ගැනීම සිදුවී තිබෙන බව. මෙවැනි අසාධු මුදල් සංසරණය වැළැක්විය යුතු යි. ඊට සම්බන්ධ අඩි සටහන් ද මකා දැමිය යුතු යි.”
“2017 වසරේ මෙම සැකකරු පොලිසියට දුන් ප්‍රකාශයේ මේ පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නෑ. මෙම සැකකරු විසින් සිදු කර තිබෙන ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය සිදු කළ යුතු යි,”යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.
කෙසේවෙතත්, දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තකදී නඩුවට පාදක වන දේපළ තහනමට ගැනීම ඉතා වැදගත් බව පවසා සිටියා.
මෙම නඩුවට පාදක වන දේපළ මේ දක්වා තහනමට ගෙන නොමැති බව පොලීසිය සඳහන් කළ බවත් මෙය වසර 8කට පමණ ඉහතදී ආරම්භ වූ විමර්ශනයක් වන අතර එහි ප්‍රධාන සැකකාරිය මේ වන විට ඇප මත මුදාහැර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා තවදුරටත් පවසා සිටියා.
එහිදී ඔහු අවධාරණය කළේ යම් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නම් ඒ සඳහා අධිකරණයට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේදී මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
2006 දෙසැම්බර් 14 දින නාවික හමුදාවට බැඳී ඇති යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර ඔහුව නාවික හමුදාවට ඇතුළත් කරගැනීමේදී සලකා බැලූ අධ්‍යාපන සුදුසුකම්, නාවික හමුදාව තුළ ඔහුට ලැබුණ විදේශ පුහුණු පාඨමාලා ඒ අතරට ඇතුළත්.
එමෙන්ම, 2016 වසරේදී CSN රූපවාහිනි නාලිකවේ සිදු වී ඇති මුදල් වංචා සම්බන්දයෙන් යෝෂිත රාජපක්ෂ මහතාවට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකෙරුණු විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමටද පියවර ගැනුණා.
මෙලෙස සේවය අත් හිටුවීමට පෙර යෝෂිත රාජපක්ෂට එරෙහි චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා මූලික නාවික හමුදා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබුණා.
මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කර තිබුණේ එවකට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි වත්මන් රජයේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ආරක්ෂක අමාත්‍යාංශයට කර තිබූ පැමිණිල්ලක් අනුවයි.
පසුව එම පැමිණිල්ල නාවික හමුදාපතිවරයට යොමුකළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා රියර් අද්මිරාල් ඞී.එම්.බී. වෑත්තෑව , කමාන්ඩර් යූ.එස්.ආර්. පෙරේරා හා කමාන්ඩර් එම්.එම්.වී.බී. මැද්දේගොඩ යන සාමාජිකයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කෙරුණා.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතරතුර මෙම පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.
කෙසේවෙතත්, මුදල් වංචා විමර්ශනවලට අනුව සේවය අත්හිටුවීමෙන් අනතුරුව හමුදා මූලස්ථානයේ අවසරයකින් තොරව යෝජිත රාජපක්ෂට නාවික හමුදා කඳවුරකට ඇතුළුවිය නොහැකි බවටද තහනමක් පනවා තිබුණා.
කෙසේවෙතත්, මෙම තීරණය ආපසු හරවමින් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝගයකට අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ නාවික හමුදා ලුතිනන් තනතුරේ යළි පිහිටවනු ලැබුවා.
ඉන් දින කිහිපයකට පසු යෝෂිතගේ විවාහ මංගල්‍ය යෙදී තිබූ අතර එහිදී යෝෂිත රාජපක්ෂට නාවික හමුදා ඇඳුම භාවිතා කිරීමට හා නාවුක හමුදා සමාචාරයන් සිදු කිරීමට අවශයතාවයක් මතුව තිබීම හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන තිබූ බවටද වාර්තා පළ වුණා.